Sunday, 8 May 2016

මේ ආණ්ඩුව රටේ මිනිස්සු මොන තරම් අමාරුවක දාලද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා අතුගා දමන්නට ඕනෑ කියන අපේම පිරිසක් ආණ්ඩු පක්ෂය හා එකතුව අපේ බලගතු මිනිස්සුන්ව කපලා දාන වැඩපිළිවෙළක් දියත් කරමින් තිබෙනවා. එහෙම කරන්නේ වෙන කවුරුවත් ‍නෙවෙයි. ඒ අද
ආණ්ඩුවට එකතු වී එක්සත් ජාතික පක්ෂය තුරුල්‍ලේ ඉන්න පිරිස බව මම බය නැතුව ප්‍රකාශ කරනවා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එසේ අදහස් පළ කළේ පසුගියදා ඉබ්බාගමුව, පාන්ගොල්ල ප්‍රදේශයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිරියාල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.
ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහතාට සහාය පළකිරීමත් නව සංවිධායකවරයාට විරෝධය පළ කිරීමත් සඳහා මේ හමුව සංවිධානය කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගුනු හැටි මෙතන ඉන්න වැඩිහිටියන් හැමෝම දන්නවා. එදා බණ්ඩාරනායක මහත්තයා, යූ.එන්.පී. එකෙන් ගියා. ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා තමයි ඒ පිටිපස්සේ පළමුවෙන්ම ඉන්නේ. එදා ඉඳන්ම මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය තියෙනවා. මොකද මේ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ එච් ශ්‍රී. නිශ්ශංක මහත්තයා නිසා.
ඇයි මේ අය යූ.ඇන්.පී.යෙන් ගියේ. එදා ඉඳන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ජනතාවට පිළිගන්න පුළුවන් එකක් නොවූ නිසයි. ‍පොදු ජනතාවට කෙනහිලිකම් කරන ඔවුන් ගැන නොහිතන පක්ෂයක් නිසයි. ඒ නිසා තමයි එතුමන්ලා එදා අලුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ බිහි කෙරුවේ. ඒ අනුව තමයි එවකට මේ රටේ තිබුණු සියලු බලවේග පක්ෂය වටා එකතු කරගෙන 1956 බලයට එන්නේ.
ඒ විදිහට විවිධ අවස්ථාවල පක්ෂයේ නායකත්වය වෙනස් වෙමින් ඇවිල්ලා ඊළඟට පක්ෂයේ නායකත්වයට චන්ද්‍රිකා ආවා. ඊට පස්සේ මට මේක ලැබුණා. මේ විදිහට ගතවුණු කාල සීමාව තුළ අපි බොහොම ආඩම්බරයෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ම කාලය තුබුණේ 2005 න් පස්සේ කියලා. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනෑ. මම පක්ෂය භාර ගන්නකොට මන්ත්‍රීවරු පනස් ගානයි හිටියේ. නමුත් මගෙන් මේක උදුරා ගන්නකොට මං ඒ මන්ත්‍රී සංඛ්‍යාව 127 දක්වා වැඩි කරලයි තිබුණේ. ප්‍රාදේශීය සභාත් එහෙමයි. පළාත් සභාත් එහෙමයි. ඉතින් ඒ වගේ පක්ෂයක් අපි හදලා, ගොඩනගලා දුන්නම දැන් ඉන්න අය ඒ පක්ෂෙන් අපිව එලවන්න හදනවා.
අද එක දවසින් පැය විසිහතරෙන් සංවිධායකවරු මේ රටේවත් නැති අවස්ථාවල අඩුම තරමින් එන්න කියලා කතාවත් කරන්නේ නැතුව අපේ ශක්තිමත් සංවිධායකවරු අයින් කරලා මේ කොහෙද නැති අයට ඒ සංවිධායකකම් භාර දෙනවා. අපි අහනවා මේකද තමුන්නාන්සේලාගේ යහපාලනය කියලා? මේකද ආදර්ශමත් නායකත්වය.? අපි දන්නේ නෑ මේක කෙරෙන්නේ කොහෙන්ද කියලා.
අද මේ පක්ෂය කඩන්න හදන කණ්ඩායමක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුගාන්න ඕනෑ කියන අදහසින් තමයි ඒ එය ක්‍රියා කරන්නේ. ඒ අය ඔය ආණ්ඩු පක්ෂය එක්ක එකතු වෙලා අපේ බලගතු මිනිස්සුන්ව කපලා දාන වැඩපිළිවෙළක් ඇඟට පතට නොදැනී දියත් කරමින් ඉන්නවා. මේ විදිහට අපේ පක්ෂය කඩන්න ඕනෑ  වෙලා තියෙන්නෙ වෙන කාටවත් ‍නෙවෙයි අද ආණ්ඩුවට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය තුරුල්‍ලේ ඉන්න පිරිසටයි කියලා මම බය නැතුව කියනවා. ඒක තමයි ඇත්ත. අපිට අද මේ සියල්ල ඔවුන් කරන්නේ අපි කෙරෙහි ඇති කරගත් වෛරයකින් සහ ක්‍රෝධයකින් කියලා පෙන්වා දෙන්න කැමතියි.
මේ අය අද අපිට අපහාස කරන හැටි බලන්න. රූපවාහිනියක් ගත්තත් පත්තරයක් ගත්තත් හැම එකකින්ම කරන්නේ අපිට අපහාස කරන එක. මං මේවා බලාගෙන ඉන්නේ හිනා වෙවී. මට දැන් මේක හොඳට පුරුදුයි. මං ඉතින් මේවා බල බලා කල්පනා කරන්නේ හත් දෙයියනේ මේ මිනිස්සුම නේද මට එක කාලෙකදී ‘මහා රජාණෝ’ කියලා, මාව වර්ණනා කළේ කියලා. ඉතින් මේවා දැක්කම හිනා නොවී වෙන මොනවා කරන්නද? එයාලට වගේ අපිටත් වෛර කරන්න බෑනේ. ඉතින් ඔහේ ඕනේ එකක් කියන්න ඉඩ දීලා, මං හිනා වෙවී බලාගෙන ඉන්නවා.
දැන් බලන්න මේ ආණ්ඩුව මේ රටේ මිනිස්සු මොන තරම් අමාරුවක දාලා තියෙනවද කියලා? ‘බොන්ඩ් ඉෂූ’ එකක් කියලා ඔවුන් ඒකෙන් කෝටි ගණන් ගැහුවා. හොරකම් කළා. ගිවිසුම් ගහලා, ජනතාව අමාරුවේ දැම්මා. ජනතාව කිව්වා මේක වැරදියි කියලා. ඒත් අදත් එයාලා යහතින් ඉන්නවා. එහෙම තියෙද්දි තමයි මේ අය තවදුරටත් මේවා කරගෙන යන්නේ. අපි හයිඩ් පිටියේ රැස්වීම තියලා, කිරුළපන රැලියට එනකොට මෙයාලා මිලියනයක් ණය අරගෙන. දැන් ඒකත් අපේ වරදක් කියලා අපේ පිට පටවලා. මේ ණය ගන්නේ ණය ගෙවන්නලු. වරාය පාඩුලු. ඔව් අපි දන්නවා වරාය දැන් බිලියන 15ක් පාඩුයි. ඒ වුණත් අපි ඉන්න විට මේක මිලියන 8ක ලාභයක් සහිතවයි පවත්වාගෙන ගියේ. හම්බන්තොටත් ලාභ ලැබුවා. කව්ද නෑ කියන්නේ. ‍පොත්පත් අරගෙන බලන්න කියන්න. ගණන් හිලව්, නැව් හැමදාම ආවා. ‍පෝලිම් තිබුණා. ගුවන් තොටු‍පොළ නිකන් තිබුණත් අපිට සල්ලි හම්බ වෙනවා. ගුවන් තොටු‍පොළ උඩින් යන හැම ගුවන් යානාවක්ම ගෙවන්න ඕනෑ මත්තලට. මේ ගුවන් තොටු‍පොළේ අවශ්‍යතාව එදා ඉඳන්ම තිබුණා. එයාලට ඒක කරගන්න බැරුවයි හිටියේ. ඉතින් ඒකට මං පලිද? කොහොම හරි අද එයාලට කතා කරන්න හරි ඉතුරු වෙලා තියෙන්නෙත් ඒ ටික විතරයි. නැත්නම් එයාලා කරපු දෙයක් නෑ.
රටවල් සනසන්න ඒ රටට බැණලා ඒ රට තරහ කරගෙන ඒ රටට අපහාස කරලා ඒ රටත් එක්ක ඇති කරගත් ගිවිසුම් අවලංගු කරනවා කියන්නේ? ඒවා අවුරුද්ද හමාර නවත්තලා තියෙනවා කියන්නේ මොන තරම් අනුවණකමක්ද? වෙනත් රාජ්‍යයන් සමග මිත්‍රත්වයක් ඇති කර ගත යුතුයි. ඒත් ඒ රටවල් සනසන්න එයාලා කියන කියන විදිහට මේ රට හසුරුවන්න ඉඩ දෙන්න බෑ. ඒ අය අපිට උදව් කරලා ඊට පස්සේ එයලා කියනවා නම් මේ රටේ ආර්ථිකය පහළට ඇදලා දාපන්. රට ඉස්සර තිබුණ විදිහට තියෙන්න ඇරපන්. එහෙම නැත්නම් රට බෙදලා දාපන් කියලා අපිට ඒවා කරන්න බෑ.
එහෙම කරන ගමන් මේ අය අනිත් පැත්තෙන් එකතු වෙලා මොකද කළේ? ජනතාව අපෙන් ඈත් කරන්න ලස්සනට කුමන්ත්‍රණය කළා. මුස්ලිම් ජනතාව අපෙන් ඈත් කළා. දෙමළ ජනතාව වෙනත් විදිහකට යුද්ධය පාවිච්චි කරලා අපෙන් ඈත් කරන්න කටයුතු කළා. අද දැන් මේ මොකක්ද කරන්න හදන්නේ?
අද රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න සම්බන්ධන් මහත්තයාට ඕනෑ තැනකට යන්න පුළුවන්. එතුමා විපක්ෂ නායක විදිහට. ඒත් ඕනෙම තැනකට යන විදියක් තියෙනවා. නීත්‍යනුකූල ක්‍රමයක්. කඳවුරකට එහෙම කඩා පනින්න බෑ. ඒත් එයාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. බැරිවෙලාවත් ඔය ගමන අපි ගියා නම් එහෙම අද කොහොම තියෙයිද? එහෙනම් අපිට වෙඩිත් තියලා අද ඒක තමයි ඇත්ත තත්ත්වය.
මේ ආණ්ඩුව ඡන්දෙට ඉස්සර වෙලා ජනතාවට දුන්නු ‍පොරොන්දු ටික බලන්න. අද වී මිලට මොකද වෙලා තියෙන්නේ? හාල් මිලට මොකද වෙලා තියෙන්නේ? බොහොම ලස්සනට ඒවා තියෙනවා නේද? අද වී මිල අඩුයි. හාල් මිල වැඩියි. මේක මරු චක්‍රය. හැබැයි ඉතින් එක දෙයක් කියන්න ඕනෑ. ඔය වී මෝල කරගෙන යන්නේ මගේ මල්ලිලා නම් ‍නෙවෙයි. ඒකට රාජපක්ෂ පවු‍ලේ කවුරුත් සම්බන්ධ නෑ. නැත්නම් ඉතින් හෙට අනිද්දට ඕකත් මගේ කියයි. කතාවට දක්ෂ වුණාම ඕනෑ කෙනෙකුට අපහාස කරන්න පුළුවන්. අපේ පක්ෂයේ හිටපු දක්ෂම කථිකයා තමයි අපිට නැති වුණේ. ආප්ප කාලා එහා පැත්තට ගියත් අපි ඒක පිළිගන්න එපැයි.
දැන් වැට් බද්දෙන් ජනතාව පීඩාවට පත් වෙනකොට අපි බලාගෙන ඉන්නවා එයාලා මොකක්ද ඒ වෙනුවෙන් කරන්නේ කියලා. ඕක දැන්ම ‍නෙවෙයි තව ටික දවසක් යනකොටයි ජනතාවට දැනෙන්න පටන් ගන්නේ. ලයිට් බිල් වැඩි වෙනකොට, වතුර බිල් වැඩි වෙනකොට, කෑම බිල් වැඩි වෙනකොට තමයි දැනෙන්න පටන් ගන්නේ ඕකේ රඟේ. ඒ කා‍ලේ නම් මං මගේ විධායක බලය ඒ වෙනුවෙන් පාවිච්චි කරලා ජනතාවට සහන අරන් දුන්නා. නමුත් දැන් තවමත් එහෙම සිද්ධවෙන පාටක් නම් පේන්නවත් නෑ. ඒ වුණත් දැන් සමහරු කියන්න පටන් අරන් තියෙනවා නෑ මේක ටික දවසකටයි දාලා තියෙන්නේ කියලා. අනේ මේ මොන බොරුද?
මේ විදියට හැමදාම රටට බොරු කර කර රාජපක්ෂ රෙජිමේන්තුව, රාජපක්ෂ රෙජිමේන්තුව කිය කියා අපේ අයට විවිධ චෝදනා දමමින් රිමාන්ඩ් භාරයට අරගෙන ජනතාව රවට්ටන්න පුළුවන්කමක් නෑ.
අද ගොවි ජනතාවට කියනවා වී වගා කරන්න එපා කියලා. මේ රටේ සංස්කෘතියයි මේ විනාශ කරන්නේ. ‍පොහොර සහනාධාරය කපලා දමලා. රබර් මිල අඩුවෙලා. තේ මිල අඩුවෙලා. නිෂ්පාදනවලට නියම මිලක් ලැබෙන්නේ නෑ. ඉතින් මේක තමයි ඇත්ත. මේවා ගැන මේ රටේ ජනතාවට කල්පනා කරන්න ඕනෑ කාලය දැන් ඇවිල්ලා තියෙනවා කියලා මං මතක් කරන්න ඕනෑ. අද මේ රටේ නීතියක් නෑ. අද හැම එකටම රාජපක්ෂ.
මං ළඟදි දවසක අහගෙන හිටියා එක මන්ත්‍රී කෙනෙක් කෑගහනවා මං ඔක්කොම වාහන යනකොට අරගෙන ගිහින් කියලා. අනේ මට දීලා තියෙන්නේ තුනයි, ආරක්ෂක අංශයට තුනයි. ඔය හය විතරයි මට ඉතුරුවෙලා තියෙන්නේ. විපක්ෂ නායකතුමාගේ වාහන මට ගෙනියන්න පුළුවන්ද? අගමැතිවරයාගේ වාහන මට ගෙනියන්න බෑනේ. ඉතින් ඔය වගේ බොරු කතාම තමයි කියන්නේ. හිටපු ජනාධිපතිවරයෙක් විදියට මට දීලා තියෙන පහසුකම් ටික විතරක් මීට අමතරව මට තියෙනවා එච්චරයි. අපි නෑ කියන්නේ නෑ.
මගේ ආරක්ෂාව මට දුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. ඒ දවස්වල රතු සහෝදරවරු මිනිස්සුන්ව මරාගෙන මරාගෙන යනකොට. මීට කලින් රනිල් බලයේ හිටියා. චන්ද්‍රිකා බලයේ හිටියා. මේ අයගෙන් අපි දීලා තිබුණ ඒවා ආපහු ගත්තේ නෑ. දැන් ඉතින් එයාලට බලය තියෙන නිසා එයාලට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි ඉතින් මේක සාධාරණ වෙන්න ඕනෑ. තමාගේ සතුරා තමන් ගෙනිහින් මරලා දාන එක වෙනම දෙයක්. ඒත් ඉතින් දෙයියනේ කොටියන්ට කියලා මරවලා දාන්න සූදානම් වෙනවා නම් ඒක නම් ඉතින් එච්චර සාධාරණ නෑ කියලා තමයි මතක් කරන්න වෙන්නේ. ඒක හින්දා මේ තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනවා යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.



No comments:

Post a Comment