Friday, 27 May 2016

නීති විරෝධි වාහන මුදා හරින්න

ඉදිකිරීම් උපකරණ ගෙන්වන මුවාවෙන් පෞද්ගලික ආයතනයක්‌ විසින් මෙරටට ගෙන ආ කන්ටේනරයක්‌ තුළ තිබූ නියමිත කාලය ඉක්‌මවූ (නිෂ්පාදිත වසරේ සිට වසර තුන ඉක්‌මවූ) රුපියල් ලක්‍ෂ 200ක්‌ පමණ වටිනා වාහන තුනක්‌ මුදාහැරීම

සඳහා දේශපාලනඥයන් කිප දෙනකු දිගින් දිගටම රේගුවට බල කරමින් සිටින බව අනාවරණය වේ. රේගු ආඥා පනතට අනුව මෙම වාහන රාජසන්තක කර වාහනවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක්‌ එනම් රුපියල් ලක්‍ෂ හයසියයක්‌ පමණ අදාළ ආනයනකරුගෙන් අයකර ගත යුතු බව රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටී. එහෙත් දේශපාලන බලපෑම් මත මෙම වාහන මුදා හැරියහොත් එකී මුදල රජයට අහිමිවන බවද එම වෘත්තීය සමිති නිලධාරීහු පවසා සිටිති.

මෙසේ නීති විරෝධීව ගෙන්වා ඇත්තේ රුපියල් ලක්‍ෂ 100 ක්‌ පමණ වටිනා ප්‍රාඩෝ රථයක්‌, ලක්‍ෂ 50 ක්‌ පමණ වටිනා මිනිකූපර් රථයක්‌ සහ ලක්‍ෂ 45 ක්‌ පමණ වටිනා ටොයොටා මෝටර් රථයකි.

මෙම වාහන තුනම නීත්‍යානුකූලව මෙරට ගෙන්විය යුතු කාලය ඉක්‌මවූ වාහන බව හෙළිවී තිබේ. අදාළ කන්ටේනරය ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී පරීක්‍ෂා කළ යුතු වුවත් ආනයනකරුගේ ඉල්ලීම මත රේගු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගේ නිර්දේශය මත රේගු නිලධාරීන් බහලුම් පරීක්‍ෂාකර ඇත්තේ ආනයනකරුගේ මාතර තිහගොඩ නිවාස පරිශ්‍රයේදීය.

බහලුම් අංගනයෙන් පිටත මෙවැනි සැක කටයුතු බහලුමක්‌ පරීක්‍ෂා නොකෙරෙන මුත් ඉහළ නිලධාරියාගේ නිර්දේශය මත මාතරදී බහලුම් විවෘත කළ විට එහි තිබී ඇත්තේ ඉදිකිරීම් උපකරණ නොව මෙම නීති විරෝධී වාහන බව දැනගත් එම නිලධාරීන් තවදුරටත් එහිදී එය පරීක්‍ෂා කිරීම ප්‍රතික්‌ෂේප කර ඇත. පසුව රේගු සුපරික්‌ෂණය යටතේ මෙම බහලුම යළිත් ඔරුගොඩවත්ත බහලුම් අංගනයට ගෙනැවිත් ඇත.

රේගුව භාරයේ තිබෙන මෙම බහලුම අදාළ ආනයනකරුට නිදහස්‌ කරන ලෙසට දිගින් දිගටම රේගුවට දේශපාලන බලපෑම් එල්ලවන බවට රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති චෝදනා කරයි.

රේගුවේ ඉහළ නිලධාරියා සිය බලතල ඉක්‌මවා රේගු ආඥාපනත උල්ලංඝනය කරමින් අදාළ බහලුම් අංගනයෙන් පිටත ආනයනකරු කියා සිටි ස්‌ථානයක පරීක්‍ෂා කිරීමට නිර්දේශ කිරීම විමතියට කරුණක්‌ බවද වෘත්තීය සමිති පවසති.

මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි කරන බව ද අදාළ නීති විරෝධී වාහන තුන මුදාහැරීමෙන් රජයට සිදුවන අලාභය වළක්‌වා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද රේගු වෘත්තීය සමිති නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment