Monday, 23 May 2016

මම තනියමලු හැම වරදම කළේ

පසුගිය සමයේ සිදුවූ බව පැවැසෙන සියලු දෙයටම තමන්ගේ පිට පමණක් වරද පටවා ඇඟ බේරා ගැනීමට ඒ රජයේ සිටි කිසිවකුට හෝ නොහැකි බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන්

කළේය. උඩුනුවර, ගෙලිඔය, කරමඩ ශ්‍රී වේළුවනාරාමයේ නව රන්වැට විවෘත කිරීම හා සමාධි බුදු පිළිමය නිරාවරණය කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේ ඒ මහතා ඉහත අදහස් පළ කළ අතර මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජපක්ෂ මහතා මෙසේද කීය.

දැන් මට මේ චෝදනා කරන සියලුම දෙනා එක්ක අපි එකම ආණ්ඩුවකයි හිටියේ. එක්සත් ජාතික පක්ෂය විතරයි අපි සමඟ හිටියෙ නැත්තේ. ඒත් දැන් බලනකොට අපි සමඟ සිටි හුඟක් අය රූපවාහිනිවල, පත්තරවල කතා කරන්නෙ මේ ඔක්කොම වැරැදි මම තනිවම සිදු කළ විදියටයි. එදා ඒ අයට අපේ රජයේ කිසිම අයිතියක් හෝ නිදහසක් තිබිලත් නැහැ. ඒ අය එදා ආණ්ඩුවේ ඉඳලත් නෑ. මේ තත්ත්වයෙන් මිදිලා යථාර්ථයට මුහුණ දීලා ජනතා බලාපොරොත්තු ඉටු කරන්න කාලය ඇවිල්ල කියල මම තමුන්නාන්සේලාට කියන්න කැමැතියි.

අද මේ රටේ ජනතාව ජාතික නස්පැත්තියකට ව්‍යසනයකට මුහුණ පා සිටින අවස්ථාවක්. අපි වසර 30කට ආසන්න කාලයක් ත්‍රස්තවාදයකට යට වෙලා හිටපු රටක්. මේ රටේ මුහුදු සීමාවෙන් තුනෙන් දෙකක්, මේ රටේ ගොඩබිමෙන් තුනෙන් එකක් අපිට අහිමිව තිබියදී ඒ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව ජීවිත පූජාවෙන් ලබාදුන් රණවිරුවන්ට අපේ ගෞරවය සැමදාම හිමි වෙන්න ඕන.

මේක ජනතා ජයග්‍රහණයක්. මේක සිංහල බෞද්ධ ජනතාව විතරක් නෙවෙයි. සියලුම ජාතීන් ලද ජයග්‍රහණයක්. එදා උතුරේ දමිළ ජනතාව දකුණේ සිංහල ජනතාවට වඩා විශාල පීඩනයකින් පසු වුණා මේ ත්‍රස්තවාදය නිසා අපි එදා යුද්ධ කළේ ජාතියකට හෝ ආගමකට එරෙහිව නොව, ත්‍රස්තවාදයට එරෙහිවයි. 

කෑලි දෙකකට වෙන් වෙන්න ගිය මේ රට එදා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් අංශ එක්ව මුදා ගත්තේ ජීවිත පූජා කරලයි. අද සැමට නිදහසේ ගමනක් යන්න, පාසලට යන්න, විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න, කොටින්ම නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව උදා කර දුන් ඒ වීරෝදාර ජයග්‍රහණය සමරන එකත් අද මේ රජය නවත්තල දාලා. ජාතික සංහිඳියාවට බාධාවක් එල්ල වෙනව කියලා මේ ජයග්‍රහණය සමරන එක නවත්වනවනම් ඒක මහා මෝඩකමක්. කළගුණ නොසලකා හැරීමක් වශයෙන් තමයි අපි දකින්නේ.

අපි කරගෙන ආපු වැඩ කොටස අතරමඟ නතර වෙලා. අද මේ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. දැන් ඉන්න සංවිධාකයෝ කටින් විතරයි සංවර්ධනය කරන්නේ. අද ආර්ථිකය කඩා වැටිලා. ජනතාවට දරන්න බැරි තරම් බදු බර පටවලා. හැම දේටම රාජපක්ෂ, රාජපක්ෂ කියල ඇඟ බේර ගන්න මේ අයට හැකි වෙන්නේ නෑ. 

මේ වෙනකොට රටේ ජනතාව මේ අයගේ කෙරුවාවල් තේරුම් අරගෙන ඉවරයි. හැමදාම ජනතාව රවටන්න බෑ. හැමදේකටම අද අපිව FCID එකට කැඳවනවා. අවශ්‍ය දේට වගේම අනවශ්‍ය දේටත් කෝකටත් තෛලය වෙලා තියෙන්නේ FCID එකයි. තදින් වැහලා ගංවතුර ගලපු එකටත් වග කියන්න ඕන මම කියල, මාව ඒකටත් FCID එකට ගෙන්නයි කියල තරුණයෙක් ෆේස්බුක් එකේ සටහනක් තියල තිබුණා. අද මේ සියලු දේ මේ රටේ ජනතාවට විහිළු.

No comments:

Post a Comment