Thursday, 19 May 2016

සොරකම් කරපු එවුන් ඇප අරන් විවිධ ප්‍රකාශ කරනවා

රාජපක්‍ෂලා සල්ලි අර ගත්ත. සොරකම් කරපු උන් ඇප ගන්නවා, ප්‍රකාශ නිකුත් කරනවා, අභියෝග කරනවා පළි ගන්නවා කියලා. අපි දූෂණ වංචා ගැන ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට බොහෝ දෙනෙක් ප්‍රශංසා කළා යැයි සෞඛ්‍ය හා දේශීය
වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18දා) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා
අපි කරන සමහර දේවල් නෙමේ ජනවාරි 08 වැනිදාට කලින් මුකුත්ම ගියේ නැහැනේ. දැන් ටිකක් යනවා ඒක හොඳයි. ඔය හැමෝම ඒ කාලේ ගජ මිතුරු සංවාදයේ හිටපු අයනේ. සමහර මාධ්‍ය ආයතනවලට මහින්ද රාජපක්‍ෂටත් වඩා ගාමිණී සෙනරත් වැදගත් වෙලානේ. ඒ නිසානෙ මල්ලෙ සයිස් එකෙන් හොරකම් කළාද නැද්ද කියලා තීරණය කරන්නේ. ඔය කියන විදියට උදේ 09 ඉඳන් හවස 04 වෙනකම් සල්ලි ඇදලා තියෙනවා. මේකේ මුල් ටික ආවේ නැත්තේ ඇයි කියන එකත් දැන් හොයාගෙන ඉවරයි. ඔය ගැන කතා කරන හැමෝම දැන් කතා කරන්නේ දූෂණ වහගන්නනේ. මහා සාගරේ තරමට කරලා තියෙන දූෂණ තමයි දැන් තියෙන්නේ. ඔය වහගන්න කතා කරන අය ඉතින් පොඩි ඇළ පාරක් තරමට හරි දූෂණවලට සම්බන්ධ වෙලා ඇති.
එයාර් ලංකා එක ගැන මගේ තියෙන ප්‍රතිපත්තිය නිසා මම එයාර් ලංකා එක ගැන විවාදයට යන්නේ නැහැ. මම හිටපු ප්‍රතිපත්තියට ලසන්ත වික්‍රමතුංග මහත්තයත් මට සහය දුන්නා. මම කටින් කරපු දේවල් ඔහු පෑනෙන් කළා. අද ඒ වගේ මාධ්‍යවේදීන් නැති නිසා තමයි සමහර කට්ටිය ලැජ්ජා නැතිව වැඩ කරන්නේ. ලසන්ත හිටිය නම් ඔය මාධ්‍යවේදීන් ගැන නම් ගම් ඇතිවම ලියනවා. ජාතික ගුවන් සේවය ආණ්ඩුවට ගැනීම හොඳයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.
අපි දූෂණ ගැන හොයන්නේ කවුරුවත් දඩයම් කරන්න නෙවෙයි. විනාශ වෙලා තියෙන විශාල මුදල් ප්‍රමාණය නිසා තමයි අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. රාජපක්‍ෂලා සල්ලි අර ගත්ත. මිනිසුන්ගෙන් අපි සල්ලි අදින එක මහා පාපකර්මයක්. ඒක තමයි ඇත්ත කතාව. නමුත් කරන්න වෙන දෙයක් නැහැ. සොරකම් කරපු උන් ඇප ගන්නවා, ප්‍රකාශ නිකුත් කරනවා, අභියෝග කරනවා, පළි ගන්නවා කියලා කිව්වට ඇත්තටම පළිගන්නේ මේ අසරණ මිනිසුන්ගෙන්. ඒ නිසා ඒ ගැන අපිට වේදනාවක් තියෙනවා.
අපි කරපු කැපකිරීම් දන්නේ නැති සමහරු මේ මොකුත් දන්නේ නැතිව වැඩ කරනවා. වෙන වෙන ගේම් ගැන සමහරු ඒ දූෂිතයන් එක්ක බිස්නස් කරන්නත් ලෑස්ති වෙනවා. අපිට ඒ දේවල් කරන්න බැහැ. අපි අපේ ගමන යනවා.
අපි දූෂණ වංචා ගැන ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට බොහෝ දෙනෙක් ප්‍රශංසා කළා. මේ ගැන කැබිනට් මණ්ඩලය තුළ කතා නොකරන්න ජනාධිපතිතුමාට සිදුවුණේ මීට කලින් මේක විශ්ලේෂණය කරන්න ගිහින් කරපු සාකච්ඡාව හිටපු ජනාධිපතිවරයාට කැබිනට් ඇමැතිවරයෙක් දුන්නු නිසයි. ජනාධිපතිතුමාත් කිව්වා ඒ කැබිනට් ඇමැතිවරයා සම්පූර්ණයෙන්ම හැමෝම පාව දුන්න කියල. ඒ නිසයි ජනාධිපතිතුමා කිව්වේ වෙන තැනක සාකච්ඡාව කරමු කියලා. මේ හැම දේම එක්ක තමයි අපි යන්නේ. ඒ නිසා අපි කීපදෙනකුට විරුද්ධව දූෂිතයෝ අවි අමෝරාගෙන ඉන්නේ. ඒවාට උල්පන්දම් දීලා කටයුතු කරන අය මාධ්‍යවලත් ඉන්නවා. සමහර දූෂණ ගැන අපි කතා කළාම සමහර මාධ්‍යවල අයට හරිම අමාරුයි. දේශපාලනඥයන් වගේම තමයි මාධ්‍යවේදියෝ හැසිරෙන්නෙත්.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අමාත්‍යවරුන් පිළිතුරු දුන්නේ මෙසේය.
මහින්ද මහත්තයට උගන්ඩාවට යන්න සල්ලි දුන්නේ ආණ්ඩුවෙන් නේද? (ජනමාධ්‍ය ඇමති ගයන්ත) ඔව්. ඒකට තමා යහපාලනය කියන්නේ. පළිගැනීම් කිසිවක් නැති නිසා හිටපු ජනාධිපතිවරයකුට පළමු වතාවට පෞද්ගලික සංචාරයකට අවස්ථාව ලබා දෙන්න අපේ රජය කටයුතු කළා.
අත්‍යවශ්‍ය වියදම් කපනවා කියලා ආපු ආණ්ඩුව ඒ වගේ පෞද්ගලික සංචාරයකට සල්ලි දීපු එක හරිද? (ගයන්ත) විදේශ කටයුතු අමාත්‍යාංශය විදියට ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරයි. මෙහෙම ඉල්ලපු පළමු වතාවනේ මේක.
ආණ්ඩුවට සල්ලි නෑ කියලා කිය කියා මේ වගේ දේකට රජයේ මුදල් දෙන එක සාධාරණද? (ගයන්ත) අපි මේ ගැන නිශ්චිත වැඩපිළිවෙළකට ඉදිරියේදී යනවා.
මම අහන්නේ මේක සාධාරණද නැද්ද කියලයි? (ගයන්ත) ඉල්ලපු එකට කරපු ප්‍රතිචාරයක් විදියටයි මේක සිදු කළේ.
පෞද්ගලික සංචාරවලට එහෙම රජයේ සල්ලි දෙනවද? (ගයන්ත) හිටපු ජනාධිපතිවරයෙක්නේ මේ.
එහෙම හිටපු ජනාධිපතිවරයකුට පෞද්ගලික සංචාර සඳහා රජයේ මුදල් දෙන්න පුළුවන් කියලා කොහෙද කියලා තියෙන්නේ? මෙහෙම ඉල්ලපු පළමු වතාවනේ මේක. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියට මෙහෙම අවස්ථාවක් ලැබුණෙම නෑනේ.
හිටපු ජනාධිපතිවරයෙක් කියන්නේ තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද? (කරූ) ඔව්. ඒ අයට යම් යම් වරප්‍රසාද ලබා දෙනවා. නමුත් මේ ගැන ගන්නා ක්‍රියාමාර්ග ගැන ප්‍රතිපත්තියක් ඉදිරියේදී හදයි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්ලු මේ විදිහට මහින්ද මහත්තයා උගන්ඩාවට ගිහින් තියෙන්නේ. දූෂිතයි කියලා කියන රාජ්‍ය නායකයකුගේ පදවිප්‍රාප්තියට නේද ඒ ගිහින් තියෙන්නේ? (ගයන්ත) ඒ ගිහින් තියෙන්නේ පෞද්ගලික සංචාරයකටයි.
රජය සල්ලි වියදම් කරලා යවපුවාම ඒක නිල සංචාරයක් වෙනවා නේද? (කරූ පරණවිතාන) එතුමා රජය නියෝජනය කරලා නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ගැන විශේෂ අවධානය යොමු කරලා තානාපති කාර්යාල හරහා හොයනවා මේ ගැන රජයට දැනුම් නොදුන්නේ ඇයි කියන දේ පිළිබඳ. මේ සඳහා ගුවන් ටිකට් පත විතරයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන්නේ. ඒ වරප්‍රසාදය හැරුණුකොට මහින්ද මහත්තයා ලංකා රජය නියෝජනය කරමින් නෙවෙයි මුසවේනි ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට ගියේ. ඉතින් එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ.
උදයංග වීරතුංගගේ පාස්පෝට් එක ගැනත් විදේශ කටයුතු අමාත්‍යාංශයට චෝදනා එල්ල වුණා. දැන් මේ සිද්ධිය. ඒ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය දූෂණ විරෝධී නැද්ද? (කරූ) මේක හංගලා කරපු වැඩක් නෙවෙයි. මේ ගැන ප්‍රශ්නයක් මතුවෙලා තියෙන නිසා හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන නිර්ණායක ඉදිරිපත් කරනවා.
උගන්ඩා යන්න ටිකට් එක රජයෙන්ම දීලා දැන් විවේචනය කරන පදනම මොකක්ද? (ගයන්ත) විවේචන කරන්න හේතු තියෙනවානෙ.
මුදල පාස් කරන්න ඇත්තේ අගමැතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් අහලා වෙන්න ඇති නේද? (කරූ පරණවිතාන) අපිට විදේශ කටයුතු ඇමැතිතුමාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ.
මේ ගැන රාජිත ඇමැතිතුමාගේ අදහස මොකක්ද? ඒ ගැන මම ඉතින් ජනවාරි 08 වැනිදට කලින් හිටපු මතයේම තමයි ඉන්නේ.
ඒ කියන්නේ ඔබ මේකට විරුද්ධයිද? (රාජිත) රාජ්‍ය මුදල් පෞද්ගලික සංචාරවලට දෙන්න බැහැනේ.
ඔබ ඔය කියන කැබිනට් ඇමැතිවරයා තාමත් ඉන්නවද? (රාජිත) ඔව්. වෙනස් වුණේ නැහැ.
ඇයි ඒ වගේ අය තාම තියාගෙන ඉන්නේ (රාජිත) බලමු ඉස්සරහට තීරණ ගන්නවනේ.
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට ජීවිත තර්ජන තියෙනවාලු නේද? (රාජිත) මේ ආණ්ඩුවේ අය එහෙම දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි විවේචනය කරද්දි ‍ෙදාරේ සද්දෙයි අනෙක් සද්දෙයි දෙකම අපි දන්නවා. එය මාධ්‍යවේදිනුයි ඔය අයටයි අපි බයේ දේශපාලනය කරන්නේ නැහැ. අපි අපේ ස්ථාවරයේ දිගටම ඉන්නවා.
දූෂණ විරෝධී වැඩපිළිවෙළ හරියට කරන්නේ නැහැ කියලා සිවිල් සංවිධාන රජයට චෝදනා කරනවා නේද? (රාජිත) නෑ. ඒ අය අපිත් එක්ක එකට ඉන්නවා. ඒ අය විශාල සහයක් අපිට දෙනවා. අපි ඇතුළේ සටන ගෙනියනවා. ඒ අය එළියේ සටන ගෙනියනවා.
දේශපාලන වාසි ගන්න මේක යට ගහනවා කියලා කියනවා නේද? (රාජිත) මේවාට පුළුවන් ඉක්මනට සාධාරණය ඉටු කරන්න කියලා අලුත් නීතිපතිතුමා කියලා තියෙනවා.

No comments:

Post a Comment