Sunday, 8 May 2016

නාවික හමුදාවෙන් හදපු යාත්‍රා නවයක් නයිජීරියාවට දෙයි

නාවික ඉතිහාසයේ ප්‍රථම වතාවට වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපළෙහි නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම ඉකුත් 6 වැනි දින එම පරිශ්‍රයේදී සිදු
කෙරිණි.විදේශ රටකට මෙලෙස යාත්‍රා අලෙවි කළ ප්‍රථම පියවර ලෙස මේ සුවිශේෂි අවස්ථාව මෙරට නාවික ඉතිහාසයට එක් වනු ඇත. නයිජීරියා රජය නියෝජනය කරමින් එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නයිජීරියා මහකොමසාරිස් එස්.යූ. අහමඩ් මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්ජිනේරු රියර් අද්මිරාල් නිලන්ත ප්‍රේමසිරි යන මහත්වරු සහභාගි වූහ. මේ යටතේ කුඩා යාත්‍රා  හයක් (6) සහ වෙරළාරක්ෂක යාත්‍රා 3ක් අලෙවි කෙරුණු අතර ඉන් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 4.2ක් පමණ වේ. එකල පැවැති අවශ්‍යතාවට සරිලන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ම 1994 වසරේදී විශේෂ යාත්‍රා බලගණය සඳහා කුඩා යාත්‍රා නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර මේ වන විට කුඩා යාත්‍රා 120ක් පමණ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත. පසුගිය
මානුෂීය මෙහෙයුම සඳහා මේ යාත්‍රා බොහෝ සෙයින් උපයෝගි කරගත් අතර එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව ලද ජයග්‍රහණ අතිමහත්ය.
විවිධ රටවලින් කරන ලද ඉල්ලීම්වලට අනුව කුඩා යාත්‍රා භාවිතයෙන් සිදු කරනු ලබන නාවික මෙහෙයුම් පිළිබඳව විදෙස් රටවල හමුදා සාමාජිකයන් හට පුහුණුව ලබා දෙන්නටද ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව සැලැසුණි. මේ පසුබිම මත ශ්‍රී ලංකා නාවික හමුදාව නිපදවනු ලැබූ කුඩා යාත්‍රා සඳහා අන්තර්ජාතික ඉල්ලුමක් ඇතිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ යාත්‍රා අපනයනයට මඟපෑදුණු බවද නාවික හමුදාව කියයි.
මේ ඇරෝ යාත්‍රා හා වෙරළාරක්ෂක යාත්‍රා අලෙවි කිරීමෙන් ලද ඩොලර් මිලියන 4.2ක් (රුපියල් කෝටි 60ක් පමණ) වූ ආදායම තවදුරටත් වැලිසර වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපිළිවෙළ සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට බලපොරොත්තු වන අතර එමඟින් නව පර්යේෂණ හා තාක්ෂණික දැනුම උපයෝගි කර ගනිමින් උසස් නිෂ්පාදන බිහිකිරීමට අපේක්ෂා කෙරේ.





No comments:

Post a Comment