Tuesday, 24 May 2016

බිරිදව සිල් ගන්න යවලා සැමියා කසිප්පු පෙරලා මාට්ටු

වෙසක් පොහොය දිනයේ බිරිය සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයට පිටත් කර නීති විරෝධී මත්පැන් පෙරූ පුද්ගලයකු අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් පොහෝදා දින (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

 වෙසක් පොහොය දිනයේ මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ නිවෙසක ගංජා අලෙවිකරන බවට පොලිස් හදිසි ඇමැතුම් (119) අංශයට ලැබුණු පැමිණිල්ලක් මත කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය සිදුකළ වැටලීමේදී සැකකාර 60 හැවිරිදි පුද්ගලයා සමඟ බූලියක දමා තිබූ කසිප්පු බෝතල් පහක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා විට පෙරූ මත්පැන් බෝතලයක් පමණ පානය කර හොඳ හැටි සූර්ව සිට බව පොලිසිය පැවැසුවේය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ බිරිය සිල් සමාදන් වීමට ගිය අවස්ථාවේ පානය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මත්පැන් පෙරා ගත් බවයි. කසිප්පු තම අවශ්‍යතාවට පෙරා ගත්තද ඒවා කිසිවකුටත් අලෙවි නොකරන බව සැකකරු පොලිසියට පවසා තිබිණි.

වැටලීම සිදුකළ පොලිසිය පැවැසුවේ සැකකරු කුඩා ප්‍රමාණයේ බැරලයක් සහ දඟරයක් භාවිත කර කසිප්පු නිවෙසේදීම පෙරාගෙන ඇති බවයි. ඇපල්, මිදි, අඹ, කෙසෙල් හා සීනි යොදා ගෙන සැකකරු පිරිසුදු ලෙස කසිප්පු පෙරාගෙන තිබූ බව පොලිසිය පැවැසුවේය. හොර මත්පැන් ජාවාරම්කරුවන් අලෙවිකරන කසිප්පුවලින් අධික දුර්ගන්ධයක් වහනය වනමුත් සැකකරු පෙරූ කසිප්පුවලින් කිසිදු දුගඳක් නොහැමූ බව පොලිසිය පැවැසීය. සැකකරු මුළුතැන්ගෙයි තිබූ බූලියක කසිප්පු බහාතිබූ බවත් ඉන් දුගඳ නොහැමීම නිසා පොලිස් නිලධාරීන් ඒවා පොල් තෙල් බවට මුලින් සැක කළ බවත් පසුව කළ පරීක්ෂාවේදී ඒවා කසිප්පු බවත් තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මැදවච්චිය පොලිසියට භාර දී තිබේ. අනුරාධපුර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ. රත්නායක, උප පොලිස් පරීක්ෂක ටී.එම්.ඒ.ඩී. කරුණාරත්න සැරයන් (28138) ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

No comments:

Post a Comment