Thursday, 2 June 2016

සිදුවූ දේ හිතාගන්න බෑ. මට දැන් අම්මත් නෑ තාත්තත් නෑ

අම්මයි, මමයි සතුටින් ගෙදර හිටියා. අම්මා ගෙදරින් ගියේ මටත් බඩු වගයක් ගේනවා කියලයි. සිදුවූ දේ හිතා ගන්න බෑ.  මට දැන් අම්මත් නෑ. තාත්තත් නෑ” යැයි පන්නල, වැටකෙයාව මංසන්ධියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය කේ.පී.

ගීතා ශිරෝමණී යන අයගේ පුතු වන 15 හැවිරිදි මලින්ද සඳරුවන් කියා සිටියේය. පන්නල වැටකෙයාව මංසන්දියේ බස්නැවතුමෙහි දී පුද්ගලයකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතබා  පලාගිය පුවත වාර්තා වූයේ  ඉකුත් 29 දින රාත්‍රි 8.00 ට පමණය. එම වෙඩි තැබීමෙන් දෙදෙනකු මියගොස්  තවත් කාන්තාවක තුවාල ලැබීය.

වෙඩිවැදී මියගිය පුද්ගලයා ලොකුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, මාකඳුර කෝරලේ වත්තෙහි පදිංචිව සිටින අයෙක් වන අතර ඔහු අනුර නුවන් කුමාර (30) නමැති දෙදරු පියෙකි. රැකියාවට අනවසර මත්පැන් ජාවාරම කළද ඔහු ගමේ කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඔහු ගමෙහි මෙන්ම පිටතත් අසාධාරණය හා අයුක්තිය දුටුවිට නොබියව  ඉදිරියට එන පුද්ගලයකු බව බොහෝ පිරිසක් පැවසූහ. තොරතුරු සොයා අප ඔහුගේ නිවසට ගියද එහි සිටි තරුණයින් සියයකට අධික පිරිසක් තොරතුරු සොයා ගැනීමට හා ඡායාරූප ගැනීමට ඉඩ නොදී බාධා කළහ.

ඔවුන් පැවසුවේ ඔහු මියගිය පසුව විවිධ මාධ්‍ය මගින් ඔහුගේ චරිතය කෙලසා ඇති බැවින් මාධ්‍යකරුවන්ට යළි ඒමට ඉඩ නොදෙන බවය.

ලොකුවාට වෙඩිතැබූ අවස්ථාවේ ඒ අසල සිට වෙඩි වැදුණ අනෙක් කාන්තාවන්  දෙදෙනාගේ නිවෙස් සොයා අප ඊළඟට ගියෙමු. ඒ දංකොටුව පොලිස් වසමේ කැරම් වත්තය. එය රජයෙන් ඉඩම් කට්ටි කරදුන් ජනපදයකි. වෙඩි වැදීමෙන් මියගියේ  කේ.පී.ගීතා  ශිරෝමණී (29) නම් එක්දරු මවකි. තුවාල ලැබූ අනෙක් කාන්තාව ඇයගේ නෑනාවූ කේ. නිර්මලාදේවී (30) නමැති එක්දරු මවකි. මේ දෙදෙනාම එකම නිවසේ පදිංචිව සිටියහ.

මියගිය ගීතා සිය ස්වාමිපුරුෂයා හා දරුවා සමග දංකොටුවේ උළු මෝලක පදිංචිව සිටියේ මීට වසර පහකට පමණ පෙරය. එහිදී ඇයගේ ස්වාමිපුරුෂයා මීඋණ  වැලඳී මිය ගොස් ඇත. ඉන් පසුව ඇය තම පුතා මව ළඟ තබා විදෙස්ගත විය. යළි වසර කිහිපයකින් ලංකාවට පැමිණි ඇය යළි විවාහ විය. ඔහු කැරම් වත්තෙන් ගෙයක් කුලියට ගෙන ඇත.

මියගිය කාන්තාව, ඇගේ දරුවා, තම මව හා නැගණිය නිර්මලාදේවියද එහි නවතා  විදේශ ගතවිය. ඔහුගේ මව හා නිර්මලාදේවියද  දංකොටුවේ උළුමෝලක රැකියාව කළාය. නිර්මලාදේවියගේ විවාහය  දෙදරා ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා හා දරුවා වෙනත් ප්‍රදේශයක ජීවත් වෙති.

ඉකුත් 29 දින සවස 6.30 ට පමණ  මියගිය ගීතා හා තුවාල ලැබූ නිර්මලාදේවිය නිවසින් පිටව යන්නේ බඩු ගැනීම හා දේවාලයකට යන බව පවසමිනි. කෙසේ හෝ ඔවුන් දෙදෙනා එදින රාත්‍රි 7.45 පමණ වනවිට වැටකෙයාව බස් නැවතුමට පැමිණ ඇත. මියගිය ලොකුවාද  එම බස් නැවතුමට පැමිණ ඇත. වෙඩික්කරුගේ ප්‍රහාරයට ඔවුන් ලක්වන්නේ එම අවස්ථාවේදීය.

මියගිය ගීතාගේ පුත් කේ. මලින්ද සඳරුවන්  (15) මෙසේ කීය. අම්මයි මමයි සතුටින් ගෙදර සිටියා. අම්ම ගියේ මටත් බඩු වගයක් ගේනවා කියලයි. සිදු වූ දේ හිතා ගන්න බෑ. මට දැන් අම්මත් නෑ. තාත්තත් නෑ. ඔහුට හැඬුම් ආවේය.

මියගිය දෙදෙනාට වෙඩි තැබීමට යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත්බව පන්නල පොලිසිය පවසයි. වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවියද පොලිසිය මගින් සොයාගෙන ඇත. පරණ කෝන්තරයක් මත ලොකුවාට වෙඩි තැබූ බව හෙළිවී ඇත.

No comments:

Post a Comment